2025 වර්ෂයේ පවත්වන ලද පළාත් පාලන ඡන්දවීමසීමේදී 50% ලබා නොගත් පළාත් පාලන ආයතන සදහා දකුණු පළාත් පලාත් පාලන කොමසාරිස්වරිය විසින් 2025.06.04 දිනැතිව නිකුත්කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව අද දින (2025.06.17) සභාපති හා උප සභාපති පත්කරගැනීම සදහා වන කටයුතු නෙළුව ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී දකුණු පලාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
එහිදී පළමුව කොමසාරිස්වරිය විසින් නෙළුව ප්‍රාදේශීය සභාව සදහා තේරීපත්ව ඇති මන්ත්‍රීවරුන් 16 සහ රැස්ව සිටි පිරිස දැනුවත් කෙරිනි. අනතුරුව සභාපතිවරයා තොරාගැනීම සදහා කටයුතුකල අතර එහිදි නම් දෙකක් යෝජනා විය. (සමගි ජන බලවේගය පාර්ශවයෙන් ආර්.ජී. අජිත් චන්දන මහතාගේ ද ජාතික ජනබලවේගය පාර්ශවයෙන් කනිෂ්ක එදිරිසිංහ මහතා)
සභාපතිවරයා තෝරා පත්කරගැනීම සදහා විවෘත ඡන්දයක් තැබීමට එක් පාර්ශවයක්ද රහස් ඡන්දයක් තැබීමට තවත් පාර්ශවයක්ද යෝජනාකල බැවින් සභාපතිවරයා තොරාගැනීම සදහා කුමන ඡන්ද ක්‍රමයක් පවත්වනවාද යන්න තිරණය කිරීම සදහා රහස් ඡන්දයක් පැවැත්විනි. එහි ප්‍රතිඑලය වූයේ රහස් ඡන්දය පැවැත්වීම සදහා ඡන්ද 06 ක්ද විවෘත ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 10 ක් ලැබිනි. ඒ අනුව විවෘත ඡන්දයක් පැවැත්වූ අතර ඉන් කණිෂ්ක එදිරිසිංහ මහතා ඡන්ද 06 ක්ද අජිත් චන්දන මහතා ඡන්ද 10 ක්ද ලබාගෙන නෙළුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ ආර්.ජී. අජිත් චන්දන මහතා තේරීපත් වූ බව කොමසාරිස්වරිය විසින් දැනුම් දෙන ලදී.
පසුව උප සභාපතිවරයා තෝරා පත්කරගැනීම සිදුකල අතර එහිදී ද නම් දෙකක් යෝජනා විය. ( ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තේරීපත්වුන එච්.කේ. තිලක් කුමාර මහතාගේ නමද ජාතික ජන බලවේගය පක්ෂයෙන් තේරී පත්වූ නන්දසිරි ගුණතුංග මහතා) එහිදිී ද විවෘත ජන්දයක් හා රහස් ඡන්දයක් යන ආකාර දෙකම යෝජනා වූ බැවින් කුමන ඡන්ද ක්‍රමයකින් උප සභාපතිවරයා තොරනවාද යන්න තිරණය කිරීම සදහා රහස් ඡන්දයක් පැවැත්විනි. එහි ප්‍රත්එලය වූයේ රහස් ඡන්දය පැවැත්වීමට ඡන්ද 06 ක් ද විවෘත ඡන්දය පැවැත්වීමට ඡන්ද 10 ක් හිමිවිය. ඒ අනුව උප සභාපතිවරයා තෝරා ගැනීම සදහා වීවෘත ඡන්දයක් පැවැත්විනි. එහි ප්‍රතිඑලය වූයේ තිලක් කුමාර මහතා සදහා ඡන්ද 10 ක් ද නන්දසිරි ගුණතුංග මහතා සදහා ඡන්ද 06 ක් ද වශයෙන් හිමිවිය. ඒ අනුව නෙළුව ප්‍රාදේශීය සභාවේ නව උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තේරී පත් වූ එච්.කේ. තිලක් කුමාර මහතා පත්විය. ඒ බව නව සභාපති ලෙස පත් වූ ආර්.ජී. අජිත් චන්දන මැතිතුමා විසින් දැනුම් දෙන ලදී.
එදිනම දහවල් කාලයේ නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ වැඩ භාරගැනීම සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා පූර්වගාමී දේශපාලඥයින් ඇතුළු පාර්ශව රැසක් සහභාගී විය.






