‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘සෙයිරි සතිය’ සැප්. 01 සිට 04 දක්වා

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘සෙයිරි සතිය’ සැප්. 01 සිට 04 දක්වා

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව සැප්තැම්බර් මස 01 දින සිට 04 දින දක්වා “සෙයිරි සතිය” නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඊට අදාළව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇත.

රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීන් හට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදු කිරීමට සුදුසු පිරිසුදු හා සෞඛ්‍යාරක්ෂිත අනතුරුදායක නොවන වටපිටාවක් නිර්මාණය කරදීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගැනීම හා අනවශ්‍ය දේ බැහැර කිරීම මෙහිදි සිදු කිරීමට නියමිතය.

එම සතිය තුළ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමන්ගේ උපදෙස් මත හා ලේකම් තුමන්ගේ මගපෙන්වීම මත විසින් සැප්. 01 සිට 04 දින දක්වා සතිය තුල හා ඉදිරියට කෙටිකාලීන හා දඅගුකාලීන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.

August 28th, 2025